සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතරමඟ නැවතුණු මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩකටයුතු මිලියන ගණනක ප්‍රතිපාදන සමඟින් යළි ඇරඹේ…

දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ හේතූන් මත අතරමඟ නවතා දමා තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ව්‍යාපෘතිවල පසුබිම

මෙම වැඩසටහන යටතේ නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති 25, මීට පෙර 2014, 2016, 2017, 2018, 2019 සහ 2024 යන වර්ෂ වලදී ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ නැවතී තිබූ ඒවා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ද ඇතුළුව, අත්‍යාවශ්‍යම ව්‍යාපෘති ලෙස හඳුනාගත් මහා පරිමාණ සංවර්ධන කටයුතු මේ යටතේ නිම කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන

අතරමඟ නවතා දමා ඇති මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 හි වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා වසර තුනක් පුරා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇත. එම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් මෙසේය:

  • 2025 අයවැය ප්‍රතිපාදන: රුපියල් මිලියන 16,000ක් වෙන් කරනු ලැබීය.

  • 2026 (මෙම වසරේ) වෙන් කළ මුදල: රුපියල් මිලියන 19,000කි.

  • 2027 වසර සඳහා සැලසුම් කර ඇති මුදල: රුපියල් මිලියන 38,000කි.

සංවර්ධනය කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍ර

මෙම සංවර්ධන වැඩසටහනට අදාළව ඉදිකිරීම් සිදු කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍රයන් පහත පරිදි වේ:

  • ළමා හා මාතෘ සෞඛ්‍ය නංවාලීම.

  • පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම.

  • හෘද සහ තැලසීමියා රෝගී ප්‍රතිකාර සත්කාර.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ජාතික මධ්‍යස්ථාන ඉදිකිරීම්.

  • හදිසි අනතුරු සත්කාර සේවා ශක්තිමත් කිරීම.

  • සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස ඉදිකිරීම.

  • පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම්.