හිටපු ජනාධිපති බිරිඳට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණයක් ගනී…? “හොයාපු දේට වඩා හොයන්න ගිය වියදම වැඩියි ද?”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පවත්වාගෙන ගිය මූල්‍ය විමර්ශන කටයුතු නතර කිරීමට තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ඇයට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

2023 වසරේ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර, මෙම තීරණයත් සමඟ ඇය එම චෝදනාවලින් නිදහස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, අදාළ ලන්ඩන් සංචාරය නිල සංචාරයක කොටසක් ලෙස පෙන්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනාවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට නිදහස් වීමේ හැකියාවක් නොමැති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා සූදානම් වන අතර, අදාළ නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වීමට ඉඩකඩ පවතින බව සඳහන් වේ. මේ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මෙම නඩුව ලබන ජුලි 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

තොරතුරු දැනගැනීමේ ඉල්ලීමට රහස් පොලිසියෙන් නිහඬ ප්‍රතිචාරයක්…

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයට අදාළ වංචාවන් සෙවීම සඳහා බ්‍රිතාන්‍යයට ගිය CID නිලධාරීන් වෙනුවෙන් වැය කළ මහජන මුදල් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) යටතේ කළ ඉල්ලීමට මාස 5ක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මාධ්‍යවේදිනී තිළිණි රණසිංහ මහත්මිය විසින් මෙම වසරේ ජනවාරි 8 වැනිදා අදාළ RTI ඉල්ලීම සිදුකර ඇති අතර, ජනවාරි 9 වැනිදා එය අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. නීතියට අනුව දින 14ක් ඇතුළත තොරතුරු ලබාදිය යුතු වුවද, එය ඉටු නොවීම හේතුවෙන් ජනවාරි 29 වැනිදා පොලිස්පතිවරයා වෙත අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත. එහෙත් රහස් පොලිසිය තවමත් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

“හොයාපු දේට වඩා හොයන්න ගිය වියදම වැඩියි ද?”

මෙලෙස අදාළ තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම දේශපාලන සහ සිවිල් සමාජයේ දැඩි සැකයට භාජනය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා විසින් අවභාවිත කළා යැයි කියන රුපියල් මිලියන 16.6 ට සමාන හෝ ඊට වැඩි මුදලක් මෙම විමර්ශන නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරය වෙනුවෙන් රජය වැය කර ඇති බවයි. පොලිසිය අදාළ තොරතුරු ලබා දීම මඟහරිමින් සිටින්නේ මෙම දැවැන්ත මූල්‍ය නාස්තිය හෙළිවීම වැළැක්වීම සඳහා බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියි.