Home » සුසිල් පසුගිය අවුරුදු දෙකහමාරේ දී කළ වැඩ ගැන කියයි.

සුසිල් පසුගිය අවුරුදු දෙකහමාරේ දී කළ වැඩ ගැන කියයි.


අපි 2022 වසරේ රජය භාර ගන්න වෙලාවේ අධ්‍යාපනය තිබුන තැන ඔය හැමෝටම මතක ඇති අවුරුද්දේ අප්‍රේල්, මැයි මාසවල පාසල් පළවෙනි වාරය පටන් ගන්න ඒ වගේ ම විභාග පැවැත්වුවත් පිළිතුරු පත්‍ර බලන පරීක්ෂකවරුන්ට ඒ රාජකාරී කටයුතුවලට සහභාගී වෙන්න තෙල් තිබුන්නැති කාලයක තමයි මට අධ්‍යාපන අමාත්‍යදූරය බාරගන්න වුනේ. අපි මේ රජය භාර ගත්තේ රටක් හැටියට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා ආර්ථික වශයෙන් ලෝකයෙන් කොන් වෙච්ච වෙලාවක. ඒ වෙලාවේ අපි රජයක් හැටියට කොවිඩ් 19යෙන් අතපසු වුනු දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු වගේ පවතින ආර්ථික උද්ධමනය නිසා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ගැනත් අපිට හිතන්න වුනා, දරුවන් පොෂණ උණතාවයන්ගෙන් පෙළන බවට නොයෙකුත් වාර්තා පවා පළ වුනා. අපිට ලෝක ආහාර වැඩසටහන වගේම එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ත් (USDA) නොයෙකුත් සංවිධානවලත් ආධාර ඇතුව පොෂණ වැඩසටහන් ආරම්භ කරන්න පුළුවන් වුනා. අපි රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් වගේම 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වෙන විදිහට රුපියල් මිලියන 16,600ක වියදමින් රජයේ සියලුම පාසල්වල 1-5 ශ්‍රේණිවල ළමුන් ලක්ෂ 16කට දිවා ආහාරය ලබා දෙන්න මේ අවුරුද්ද වෙනකොට අපිට පුළුවන්කමක් ලැබුනා.


අපි එතැනිනු නැවතුන් නෑ රුපියල් මිලියන 1,000ක වියදමින් දුෂ්කර පාසල්වල සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා ලබාදීම වගේම දරුවන්ගේ සෞඛ්‍ය ගැටලුත් විසඳන්න අපි මැදිහත් වුනා, වගේම රුපියල් මිලියන 2,243 වියදමින් දුෂ්කර පාසල්වල සිසුන්ට නොමිලේ පාවහන් ලබා දෙන්නත් අපිට පුළුවන් වුනා. අවසානයේ අපි වර්තමාන රජයට බාර දෙනකොට පාසල් නියමිත කාලසටහනට පවත්වන්න අවශ්‍ය කටයුතු සියල්ල සැලසුම් කරලා කරගෙන යන්න පුළුවන් මට්ටමට ගේන්න රජයක් වශයෙන් අපිට පුළුවන් කමක් ලැබුනා. විතරක් නෙවෙයි 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත් 2024 ජූනි මාසයේ දී බෙදා හැරීමත් අපි ආරම්භ කළා.


අපිට රටක් විදිහට කුමන ආර්ථික ගැටලු තිබුනත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කියන දේ නවත්තන්න පුළුවන් කමක් නෑ… රටේ ආර්ථික ගැටලු වගේ දේවල් මේ දරුවන්ට අදාල නෑ… අපේ ගැටලු විස‍ඳෙන කල් එයාලට බලන් ඉන්න පුළුවන් කමක් නෑ… නමුත් අපි ඒ වගකීම භාරගත් රජයේ අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මට පුළුවන් වුනා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 2023 වසරේ 70%ක්, 2024 වසරේ 80%ක් වගේම මේ 2025 වර්ෂයේ 100%ක්ම චීන ප්‍රදානයන් විදිහට ලබා ගන්න ඒ විදිහට අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට 2023 වර්ෂයේ රු. මිලියන 4,511ක් 2024 වර්ෂයේ රු. මිලියන 5,317ක් 2024 වර්ෂයේ රු. මිලියන 7,000 විදිහට ඉතුරු කරන්න මට පුළුවන් වුනා.


අපි එතැනින් නැවතුනේ නෑ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් කියන දේ වෙනුවෙනුත් අවශ්‍ය කටයුතු කළා. එතෙක් පැවති අධ්‍යාපන පරිපාලන සේවයේ බඳවා ගැනීම් පිළිබඳ පැවති නෛතික ගැටලු සමථයකට පත් කරමින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට 4,872 පිරිසක් බදවා ගෙන පත්වීම් ලබා දෙන්න වගේම 2022, 2023, 2024 වසරවල දී උපාධිධාරී, විද්යාපීඨ, ඩිප්ලොමාධාරීන් ගුරු පත්වීම් 25,788ක් ලබා දෙන්නත්, විද්‍යාපීඨ ශික්ෂණලාභින් සඳහා එතෙක් ලබාදෙමින් තිබූ රුපියල් 5,000ක දීමනා 8,000 දක්වා වැඩි කරන්ත් අපිට පුළුවන් වුනා.


ඒ වගේම 2028 අවුරුද්ද වෙනකොට ඔබේ දරුවට උගන්වන්න පන්ති කාමරයට අධ්‍යාපනවේදී උපාධිය සහිත ගුරුවරයෙක් බිහි කරන්න විද්‍යාපීඨ සියල්ල එකතු කරලා විශ්ව විද්‍යාලයක් නිර්මාණය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා අවසාන අදියරට ගේන්න අපිට පුළුවන්කම ලැබුනා. විතරක් නෙවෙයි ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ වශයෙන් පැවති මොඩියුල ගුරු පුහුණු ඇගයීම් ක්‍රමවේදය ප්‍රායෝගිකව යාවත්කාලීන කරලා සාධනීය ක්‍රමවේදයක් සකස් කරලා ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලබා ගන්නත් අපිට පුළුවන් වුනා. මෙතෙක් පැවති විද්‍යා පීඨ සඳහා ශික්‍ෂණලාභීන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම සඳහා පරිගණක වැඩසටහනක් භාවිතා කරගැනීම හරහා රුපියල් ලක්ෂ 100ක මුදලක් රජයට ඉතිරි කරන්නත් අපිට පුළුවන් කමක් ලැබුනා.


නවීන ලෝකයට ගැලපෙන විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිහින් අධ්‍යාපන පරිවර්තනයක් කරන්නත් අපි වැඩ කටයුතු ආරම්භ කළා එහි නියමු ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන්නත් අපිට මේ වසර දෙකහමාර තුළ දී පුළුවන් වුනා. ඒ වගේම ස්ටීම් STEAM අධ්‍යාපනය වගේම කෘතීම බුද්ධිය පාසල් විෂය මාළාවට එක් කරලා විෂයමාලාව යාවත්කාලීන කරන්නත්, 2000 වර්ෂයේ ඉංග්‍රීසි භාෂාව නැවත අධ්‍යාපනය ගේන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු මට මේ අවුරුද්දේ මාර්තු මාසයේ දී ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන්ගේ ක්‍රියාකාරකම් පාදක ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩසටහන ආරම්භ කරන්නත් අපිට පුළුවන් වුනා විතරක් නෙවෙයි, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට ඉගැන්වීම් කරන ගුරුවරුන් සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය කොටස් දෙකකින් යුතුව නිකුත් කිරීම කරන්නත් අපිට පුළුවන් වුනා.


අපි ඉදිරි සැලසුම් විදිහට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමිකව ක්‍රියාත්මක කිරීමට වගේම විද්‍යා පීඨ ගොඩනැගිලි අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා GEM ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 900ක මුදලක් ලබා ගැනීමටත් අවශ්‍ය වැඩකටයුතු අවසන් අදියරට ගේන්න අපිට පුළුවන් වුනා. අපි අධ්‍යාපන පරිවර්තනය සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් පවා ප්‍රදානයන් විදිහට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න අපිට පුළුවන් වුනා. විතරක් නෙවෙයි අපේ නිවැරිදි මූල්‍ය කළමණාකරණ නිසා එතෙක් පාඩු ලබමින් සිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වසර එකහමාරක් ගතවන විට රුපියල් මිලියන දෙදහස් තිහක ලාභයක් උපයන්නට හැකි වූ බවත්, නිපුණතා සංවර්ධන අරමුදල රුපියල් මිලියන 245ක් දක්වා වර්ධනය කිරීමට හැකි වූයේ වසර24කින් පසුව බවයි.

හිටපු අධ්‍යාපන අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද (11) දින නුගේගොඩ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.