මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන්ගේ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි තොරතුරු රැස් කිරීමට ඊශ්‍රායලය දරන උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්, පෙන්ටගනය විසින් ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන සිය ප්‍රති-ඔත්තු සේවා (counterintelligence) තර්ජන තක්සේරුව ඉහළම මට්ටමට ගෙන ඇති බව NBC පුවත් සේවය වාර්තා කරයි.
ඉරානය සහ ලෙබනනයේ සිදුවන යුද මෙහෙයුම් හේතුවෙන් වොෂින්ටනය සහ ටෙල් අවිව් නුවර අතර අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායලයේ මානව සහ තාක්ෂණික බුද්ධි තොරතුරු රැස්කිරීමේ හැකියාවන් “අතිශය අවදානම්” (Critical) තත්ත්වයක් ලෙස ඇමරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සිය (DIA) විසින් මෑතකදී වර්ගීකරණය කර ඇති බව ඇමරිකානු නිලධාරීහු NBC පුවත් සේවයට තහවුරු කළහ.
වත්මන් ට්‍රම්ප් පරිපාලනය තුළ සිදුවන අභ්‍යන්තර සාකච්ඡා සහ තීරණ ගැනීම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරමින් සිටින බවට වන ඇමරිකානු බලධාරීන්ගේ කනස්සල්ල මෙම නව තක්සේරුව හරහා පිළිඹිබු වන බව වාර්තා වේ. මෙම අවදානම් තත්ත්වය ඉහළ නැංවීමට හේතු වූ විශේෂිත සිදුවීම් කිහිපයක් පිටු හතකින් යුත් DIA රහසිගත ලේඛනයක අන්තර්ගත කර ඇති බවද පැවසේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. වොෂින්ටනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, තමන් ඇමරිකානු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු අයුරකින් ඔත්තු බැලීමක් සිදු නොකරන බවත් මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්ය. ධවල මන්දිරය ද මෙම මාධ්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර, පෙන්ටගනය මේ සම්බන්ධයෙන් කිසිදු නිල අදහස් දැක්වීමක් සිදු කිරීමෙන් වැළකී සිටියේය.
මෙසේ තර්ජන තක්සේරුව ඉහළ නංවා තිබුණද, දෙරට අතර පවතින බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ එකඟතා, විශේෂයෙන් ඉරානය සම්බන්ධ ගැටුම්වලදී තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නිලධාරීහු පෙන්වා දෙති. එසේ වුවද, මින් ඉදිරියට ඊශ්‍රායලයේ රාජකාරි සංචාරවල නිරත වන හෝ ඊශ්‍රායල නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ඇමරිකානු නිලධාරීන්ට වඩාත් දැඩි සුපරීක්ෂාකාරීත්වයකින් කටයුතු කරන ලෙස බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත.
(ජාත්‍යන්තර ප්රවෘත්ති අංශය)

