කොළඹ — එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වෙන ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය පාර්ශවයන්ගේ 19 වන සම්මේලනය සඳහා ශ්‍රී ලංකා තරුණ නියෝජිතවරිය ලෙස සහභාගී වීමේ ගෞරවය මෙරට ප්‍රමුඛ පෙළේ අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නිල්ෂානි ද සිල්වා මෙනවියට හිමිව තිබේ.
ඒ අනුව, ලබන ජූනි 09 වැනිදා පැවැත්වෙන අදාළ සම්මේලනයේ සමාරම්භක සැසියේදී, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර නායකයන් සමඟින් සභාව ඇමතීම සඳහා ද ඇයට විශේෂ ආරාධනයක් ලැබී ඇත.
ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් පැවැත්වෙන ප්‍රධානතම සංසදයක් ලෙස මෙම රාජ්‍ය පාර්ශවයන්ගේ සම්මේලනය සැලකේ. මෙවර සම්මේලනයේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීමයි.
ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) තත්ත්වයෙන් පෙළෙන නිල්ෂානි ද සිල්වා, ශ්‍රී ලංකාවේ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නගන ක්‍රියාකාරිනියකි. ඊට අමතරව ඇය දක්ෂ දේශිකාවක, ගුරුවරියක මෙන්ම විලාසිතා නිර්මාණකාරිනියක ලෙස ද සමාජය තුළ ප්‍රසිද්ධියට පත්ව සිටින්නීය.
සමාජය තුළ මුල්බැසගෙන ඇති දුර්මතයන් අභියෝගයට ලක් කරමින්, ආබාධිත පුද්ගලයන්ගේ උන්නතිය වෙනුවෙන් ඇය සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම ජාත්‍යන්තර නියෝජන අවස්ථාව ඇයට හිමිව ඇති බව වාර්තා වේ.

