ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් බැහැදකියි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අද (13) දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගන්නා ලදී.
මෙහිදී රට මුහුණ දී ඇති වත්මන් බරපතළ අර්බුද රැසක් පිළිබඳව මහානායක වහන්සේ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම:
ඩොලර් අර්බුදය සහ ඉන් උද්ගත වී ඇති වත්මන් ආර්ථික තත්ත්වය.
දිනෙන් දින ඉහළ යන අයවැය හිඟය හමුවේ පොදු ජනතාව පිට පැටවී ඇති බදු බර.
ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාව වන අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමේ සහ නීති ක්ෂේත්‍රයේ පවතින ගැටලු.
ද්විත්ව ආපදාවෙන් විනාශයට පත් වූ පොදු මාර්ග කඩිනමින් පිළිසකර නොවීම නිසා ජනතාව විඳින පීඩාව.
සම්බුද්ධ ශාසනයට සහ ආගමික සාරධර්මවලට එල්ල වී ඇති විවිධ බලපෑම්.
රට නැවත නිවැරදි මඟට ගැනීමටත්, ජනතාව මුහුණ දෙන පීඩාවන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත්, මෙහිදී මහානායක නාහිමිපාණන් වහන්සේගේ වටිනා අනුශාසනාවන් සහ ආශීර්වාදය හිමිවූ බවත්, ප්‍රකාශ කළේය.

